ශ්‍රී ලංකාවේ කිතුගොස පැතිර වූ අපූරු මිනිසා

Sports News

ටෝනි ග්‍රේග් යනු හිටපු එංගලන්ත ජාතික කණ්ඩායමේ නායකයෙකි. ටෝනි සිය බිරිය සහ දරුවන් සමග පදිංචිව සිටියේ ඕස්ටේ‍්‍රලියාවේය. නමුත් ඔහුගේ ආධ්‍යාත්මික බැඳීම නම් තිබුණේ ශ්‍රී ලංකාව සමග බව කීමට බොහෝ දේ ඇත. මේ දැවැන්තයා ගැන ශ්‍රී ලාංකීය ජනතාව කතා කිරීමට පටන් ගත්තේ 1996 ලෝක කුසලාන තරග සමයත් සමගය. එවර ලෝක කි‍්‍රකට් කිරුළ අප දිනන බවට කල් තියාම අනාවැකි පළ කළ එකම ජාත්‍යන්තර විචාරකයා ඔහුම විය. බොහෝ සුදු ජාතික කි‍්‍රකට් දැවැන්තයින් ශ්‍රී ලාංකීය කී‍්‍රඩකයින්ට නිරන්තරයෙන් කෙණෙහිලිකම් කරමින් සිටිය දී ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් ගැන ගෞරවයක් ඇති වන පරිදි කටයුතු කළ පුද්ගලයා ද ඔහු විය. අපේ අර්ජුනට කැප්ට්න් කූල්, සනත්ට මාස්ටර් බ්ලාස්ටර්, කළුට ලිට්ල් කළු යන ආකර්ශනීය නාමයන් පටබඳිමින් උත්තේජනයක් ඇති කළේ ද මේ ටෝනි ග්‍රෙග් මහත්මයාය. එකී සියල්ල අප දන්නා දේවල්ය. ටෝනි ගැන කීමට ඔබ නොදන්නා තවත් බොහෝ දේ තිබේ. ශ්‍රී ලාංකීය කි‍්‍රකට් ක්‍රිඩාව සමග මෙතරම් සමීපව සිටි මේ ටෝනි ග්‍රේග් ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවට චමත්කාරයේ අසිරිය කැන්දු, කි‍්‍රකට් කී‍්‍රඩාවේ සුන්දරත්වය ජනගත කළ සොඳුරුතම ක්‍රිකට් විස්තර විචාරකයෙකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතුමා වසර 17කට පමණ පෙර දී මුරලි පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයාර් බොරු ජාත්‍යන්තරයට පතුරද්දී ඒ චෝදනාව එල්ල වූ මොහොතේ අපේ අර්ජුණ ඩැරල් හෙයාර් සමග පැටළුණේය. ඒ මොහොතේ මානසිකව වැටී සිටි අපේ කී‍්‍රඩකයින් හමු වීමට කී‍්‍රඩාගාරයට ගිය ටෝනි ඔවුනගේ මනස ශක්තිමත් වීමට බොහෝ දේ ප‍්‍රකාශ කළේය. උඹලා බය වෙන්න එපා. මේකට සටන් කරපල්ලා. යන්න දරාගෙන ඔහු අපේ ක‍්‍රීඩකයින් දිරිමත් කරන්නට ඇත. එතැනින් නොනැවතුණ ටෝනි රූපවාහිනී කැමරාව ඉදිරියට මුරලි කැඳවාගෙන විත් ස්වාභාවිකව පිහිටි අතේ ඇදය ගැන ලොවට කරුණු පැහැදිලි කර සිටියේය. එසේ නොවන්නට මුරලිට ලෝක වාර්තාවට කිසිදා යාමට ඉඩ නොතිබිණි. සැබැවින්ම ටෝනි යනු නිකම්ම විස්තර විචාරකයෙකු නොවිණි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ සිටි ගවේෂකයකු මෙන් විය. විස්තර විචාරයේ දී ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවට අපූරු ජිවගුණයක් රැඳවූ ටෝනි පුද්ගලිකව ශ්‍රී ලංකාවේ කිතුගොස ලොව පුරා පැතිරවූ අපූරු මිනිසෙක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *