ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය මතකය – සම්පූර්ණ විස්තරය

Sports News

1996 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවිට කිසිවකුගේ අවධානයට ලක් නොවූ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 මාර්තු 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සහභාගිවීමට පාකිස්තානයට පැමිණෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවගේ නොමඳ ගෞරවය සහ අවධානය දිනාගැනීමට සමත්ව සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා ‍තරගයේ දී තරග කිරීමට සිදුවූයේ ලොව ප්‍රබලම කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියානු පිල සමගිනි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් නායක අර්ජුන රණතුංග කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ගේ අදහස අනුව මුලින්ම පන්දු යැවීමට තීන්දු කිරීම කාගෙත් විමතියට කරුණක් විය. ඒ වනවිට පවත්වා තිබූ ලෝක කුසලාන තරගාවලි අවසන් මහා තරග 5කදීම කුසලානය දිනා සිටියේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම වීම ඊට හේතුවය. එහෙත් සියලු මත බිඳ දැමූ නායක අර්ජුන ඇතුළු පිරිස ඕස්ට්‍රේලියානුවන් ලකුණු 241කට සීමා කළේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අපහසුවක් නොවන බව ඉඟි කරමිනි.

ජයග්‍රහණයේ බලාපොරොත්තු අතැතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු ‍දෙක අඩු ලකුණු ගණනකට දැවීගියත් අරවින්ද සහ ගුරුසිංහ අගනා සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමීමට සමත්වූහ. අනතුරුව එතෙක් සාර්ථක පිතිහරඹයක නිරතව සිටි ගුරුසිංහ දැවී යාමෙන් පසුව අරවින්ද හා එක්වූ නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය. එහිදී අරවින්ද නොදැවී ලකුණු 107ක් ලබා ගනිමින් ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතකයක් වාර්තා කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු නායක ක්ලයිව් ලොයිඩ් හා විවියන් රිචඩ්ස්ගෙන් පසු එවැනි දස්කමක් කළ විශිෂ්ටතම පිතිකරුවකු ලෙස වාර්තාපොතට එක්විය.

නියමිත ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවීයාමෙන් පසුව සපුරා ගත් ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග එවකට පාකිස්තානයේ අගමැතිනිය ලෙස කටයුතු කළ බෙනාසීර් බූතෝ මහත්මිය අතින් කුසලානය ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *