2021 ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා 5ක්

Sports News

ගෙවී ගිය 2021 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වාර්තා 5කට හිමිකම් කීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. මේ අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූ වනිඳු හසරංග වාර්තා 3කටම හිමිකම් කීමට සමත් විය. ඔහු විස්සයි20 තරග දිවියේ වේගවත්ම කඩුලු 50 සම්පූර්ණ කළ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වූයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීය.

මීට අමතරව විස්සයි විස්ස ලෝක කුසලාන තරගමාලාවක කඩුලු ත්‍රිත්වයක් ලැබූ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වීමට ද වනිඳු හසරංග සමත් වූ අතර, විස්සයි විස්ස තරග බිමේ කඩුලු ත්‍රිත්වයක් දවාලු සිව්වැනි පන්දු යවන්නා ලෙසත් ඔහු වාර්තාපොතට එක් විය. වසරක් ඇතුළත විස්සයි විස්ස තරග බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙස දකුණු අප්‍රිකාවේ ටබ්රේස් ෂම්සි සමඟ සමවාර්තාවට හිමිකම් කීමට ද වනිඳු සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණානායක වසරක් ඇතුළත ටෙස්ට් පිටියේ වැඩිම ශතකලාභි ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරු ලෙස මාවන් අතපත්තුගේ සහ සනත් ජයසූරියගේ වාර්තාව සම කිරීමට සමත් විය. මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර එංගලන්ත පිලේ ජෝ රූට් සහ ඉන්දියාවේ රෝහිත් ෂර්මාට පසුපසින් සිටින දිමුත් මේ වසරේදී රැස් කළ ටෙස්ට් ශතක සංඛ්‍යාව 4කි. අතපත්තු සහ ජයසූරිය දෙදෙනාම 2004 වසරේදී ටෙස්ට් ශතක 4ක් රැස් කරමින් මේ වාර්තාව තැබූහ.

ගෙවී ගිය වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තැබූ වාර්තා අතරට දුෂ්මන්ත චමීර ද එක් වී සිටී. ඔහු මේ වසරේ අන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම කඩුලුලාභියාගේ වාර්තාවට හිමිකම් කීවේ කඩුලු 20ක් දවාලමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *